Monday, June 16, 2014

නමක් නැති සුපර් හීරෝ කෙනෙක් ගැන...





2010යේ මර්ජා වල Operation Moshtarak කාලේ අපිත් එක්ක හිටියා ANCOP (Afghan National Civil Order Police) එකේ සෙට් එක. ලංකාවේ පොලිස්සිය වගේ නෙමෙයි. මෙහෙ අය යුද්දෙටත් යනවා. ඔපරේෂන් එක අපි ගෙනිච්චට, වැඩි හරියක් වැඩ කරන්නේ උන්. යුද්දෙන් පස්සේ අපි අවුල් කරන ඒවා සුද්ද කරන්නේ පොලිස්සියෙන්. අපිත් උදව් කරනවා ගොඩක් වේලාවට. ඉතිං ඔය අස්සේ මට හැමදාම දකින මූණක් මීටර් උනා. ANCOP එකේ ඩ්‍රයිවර් කෙනෙක්. අවුරුදු 40ක විතර මනුස්සයෙක්. නම යෝනු නවාස් Yohnu Navaz ( Navaz ද නං මතක නෑ. කොහොම හරි මුල නම යෝනු). 





මාත් ඉතිං ඔය කොහේ හරි ගිහින් ඉන්න ගමන් එක එකා දිහා බලං ඉන්නවනේ. ඒක ඉස්සර ඉඳන් තිබ්බ පුරුද්දක්. ඉතිං හැමදාම උදේට Ford Ranger පොලිස් කැබ් එකක එන ඔය මූණ හරි පුරුදුයි. හැමෝම එක්ක හිනා වෙවී කතා බහ කරලා, දුක සැප බෙදාගෙන ඉන්නෙ. හැබැයි ඒ මනුස්සයා කරන ජොබ් එක නං මං හිතන්නේ නෑ වෙන කාටවත් කරන්න පුළුවන් කියලා. උදේට තමන්ගේ වාහනෙන් ගෙනත් දාන කොල්ලෝන්ගේ, යාලුවන්ගේ මල කඳන් ටික ආයේ හවසට බැඳගෙන අරං යනවා. මට නං එක දවසක් හරි මාත් එක්ක හිනා වෙච්ච එකෙක්, මැරිලා වැටිලා ඉන්නවා දැක්කත් අවුල් යන එකේ මේ මනුස්සයා කරන දේ නං අදහන්න වටින දෙයක්. 


ඔහොම යද්දී දවසක් මගේ ඉස්සරහා යෝනු අපේ එකෙක් එක්ක තනි ඉන්ග්ලිෂ් වලින් කතා කළා. මටත් හෙන පුදුමයි. උන්ගේ ලොකු ලොකු රෑන්ක් වල ඉන්න එවුන්ටවත් කඩ්ඩ බැරි එකේ ඩ්‍රයිවර් කෙනෙක් කොහොමද මෙච්චර හොඳට ඉංග්‍රීසියෙන් කතා කරන්නේ කියලා. මාත් නිකං ඉන්න එකේ හිමීට කිට්ටු කරලා මෑන්ව කතාවට අල්ල ගත්තා. මුලදී නිකං කතා බහ කලාට, පස්සේ පස්සේ තමයි හොඳටම ෆිට් උනේ. පස්සේ තමයි මිනිහගේ කතාව හරියටම කිව්වේ...

යෝනු කලින් ඉස්කෝලෙක ගුරුවරයෙක්ලු. මිනිහට උපාදි දෙකක්ම තියෙනවලු. කොහොම හරි තමන්ගේ නෝනයි, පුතයි එක්ක ලස්සනට හීන මවපු ජීවිතේ ගොඩනගාගෙන යනකොට යෝනුගේ පුතා කුඩු සීන් එකකට පොලිස්සියට මාට්ටු වෙලා. යෝනු හිතාගෙන ඉඳල තියෙන විදියට පුතා ගොඩක් අහිංසක, කාටවත් කරදරයක් නැති කෙනෙක් කියලා. පොඩ්ඩක්වත් සැක කරලා නෑ. පස්සේ තමයි දැනගෙන තියෙන්නෙ ඌ කරලා තියෙන දේවල් ගැන. යෝනුගේ පුතා හිරේ ගියාට පස්සේ මිනිහගේ මුළු ලෝකෙම කඩන් වැටිලා. කාටවත් මූණ දෙන්න බැරි කමට රස්සාවෙන් අස් වෙලා. කර කර හිටපු දේවල් ඔක්කොම අත ඇරලා.
 තිබ්බ සල්ලි, දේ පල එහෙම කුඩු කේස් නිසා අසරණ වෙච්ච පවුල් වලට බෙදලා. මම ඇහුවම ඒක මෝඩ වැඩක් නේද කියලා, යෝනු කිව්වේ " How do I advise other's children to do good lieutenant, when my own son sells heroin...???" කියලා. පස්සේ ආයෙත් බැරිම තැන පොලිස්සියට බැඳිලා තියෙන්නෙ ජීවත් වෙන්න කීයක් හරි හොයාගන්නයි, පුළුවන් උනොත් දන්නා කෙනෙක් හොයාගෙන පුතාට උදව් කරන්නයිලු. ඒක මෙහෙම ලියන්න බැරි දිග කතාවක්. යෝනු දවස් ගණන් කියපු කතාවක්.

 

යෝනුව මට මතක හිටින කෙනෙක් උනේ තව එක හේතුවක් නිසා. මම හෙල්මන්ඩ් වල හිටපු මාස ගානෙම ගොඩක් දේවල් උනා. ගොඩක් දේවල් වෙනස් උනා. ඇෆ්ගන් පොලිස්සියේත්. අලුතෙන් කට්ටිය එනවා, පරණ කට්ටිය නිවාඩු යනවා, සමහරුන්ට medals හම්බ වෙනවා, සමහරුන්ගේ පඩි වැඩි වෙනවා, ලොකු ලොකු රෑන්ක් වලට ප්‍රමෝට් වෙනවා, පාටි දානවා. ඒත් යෝනු විතරක් එකම තැන. හැමදාම නිහතමානී හිනාවකුත් එක්ක හැමදේම දිහා බලාගෙන, වාහනේම ජීවිතේ ගෙවනවා. හරියට තමන්ගේ පුත්තු දිහා බලං ඉන්න තාත්තා කෙනෙක් වගේ...




මම බලං ඉඳලා තියෙනවා එක සැරයක් රැලි පොයින්ට් එකකදී උන්ගේ එකෙක්ට වෙඩි වැදිලා වැටිලා ඈත කෑ ගහද්දි උන් ඕඩර් එක දෙන්නෙ යෝනුට. එහා පැත්තේ ඉඳන් තලෙයිබාන් එකෙන් හෝ ගාලා ගහනවා පෙනී පෙනී, ඒ මනුස්සයා බෑ නොකියා තනියෙම, තලෙයිබාන් එකෙන් වෙඩි තියන අස්සේ ඔලුව පාත් කරගෙන පස් කඳු උඩින් වාහනේ එලවාගෙන ඉස්සරහට ගිහිල්ලා, හරහට නවත්තලා, වාහනෙන් බැහැලා, බොහොම අමාරුවෙන් වැටිලා ඉන්න එකාව ඇදගෙන ඇවිත් ඇතුලට දාගෙන ආයෙත් අරං එනවා. වෙඩි කාගෙනම...

ඉතිං ඒ මනුස්සයා කරන සේවය කවුරුත් දැක්කේ නැති උනත්, කවුරුත් තේරුම් ගත්තේ නැතත්, මට නං ඒ මනුස්සයා අදටත් වීරයෙක්. ඔය මාවල් කොමික්ස් වල Iron Manලා, Batmanලා වගේ බුලට් ප්රූෆ් ඇඳුම්, උඩින් යන වාහන නොතිබුනාට ඒ එකෙක්ටවත් නැති විදියේ ධෛර්යයක් ඒ පොඩි මනුස්සයට තියෙනවා.
එයත් එක්ක ඉන්න අය යෝනුගේ උදව්වෙන් ජීවිතේ බේරගෙන ගෙදර ගියාට, ඒ මනුස්සයගෙන් එක එක දේවල් ඉගෙන ගත්තට, ලොකු ලොකු රෑන්ක් අරං උඩට ගියාට, ඒ අයට නං යෝනු කියන්නේ නිකම්ම නිකං කැබ් ඩ්‍රයිවර් කෙනෙක් විතරයි. එදත් එහෙමයි, අදත් එහෙමයි, හෙටත් එහෙම වෙයි. ඒත් මගේ ලෝකේ නං යෝනු කියන්නේ නමක් නැති සුපිරි වීරයෙක්...

No comments:

Post a Comment