Saturday, June 21, 2014

පොඩි උන් දෙන්නෙක්...






දැන් කාලේ ලංකාවේ අපිට නං යාලුවෙක්ට සමුදෙන එක කිසි ගේමක් නෙමෙයිනේ.. " ගිහිල්ල එන්නං මචං. නම්බර් එක තියෙනවනේ. කෝල් එකක් දීපන්.." නැත්තං " උඹට මම ගෙදර ගිහිල්ලා රික්වෙස්ට් එකක් දාන්නං" කිව්වම වැඩේ ඉවරයි. FB ඇඩ් කලාට පස්සේ ඉතිං ඌ ඉන්නවද මැරිලද කියල බලනවා තියා ටික කාලයක් ගියාම එහෙම එකෙක් ඉන්නවද කියල මතකත් නෑ. ඒත් මෙහෙ ඊට ගොඩක් වෙනස්. මෙහෙ මිනිස්සුන්ට ඔය FB, whatsapp, ෆෝන් වගේ දේවල් නෑනෙ. ඉතිං මෙහෙදී හම්බ වෙන යාළුවො කොච්චර ලං උනත් වැඩි කාලයක් අපේ ජීවිත වල ඉන්නෙ නෑ. ඉතින් ඒ වගේම අයට සමුදෙන එක තරං අමාරු වැඩක් තවත් නෑ. ඒ අයත් එක්ක ඉඳලා එනකොට ආයේ කවදාවත් දකින්න වෙන එකක් නෑ, කටහඬ අහන්න වෙන එකක් නෑ, එකට සෙල්ලං කරන්න, හිනාවෙන්න බැරි වෙනවා කියල හිතුනම පට්ටම අවුල්. ඒ වෙලාවට හිතෙනවා ඇයි අපි එච්චර ලං උනේ කියල. එතකොට කොහොමත් පරක්කු වැඩියි. ඇයි ඉතිං ආයෙත් මතක් වෙච්ච දවසක කතා කරන්න හිතුවත්, දකින්න හිතුවත්, කතා කරන්නවත් දකින්න වත් විදියක් නෑ නේ. සමහර වෙලාවට ආයේ කාලෙකට පස්සේ ගිහින් හොයල බැලුවම ඒ අය වෙන පළාතකට ගිහිල්ලා, නැත්තං අපිට උදව් කළා කියල තලෙයිබාන් එකෙන් මරලා. ඉතිං ඇත්තටම කිව්වොත් දැනුත් ඒ අය ඉන්නවද මැරිලද කියලවත් නොදන්න එක, ඉන්න තැනක දුක් විඳින බව, බයෙන් ඉන්න බව මතක් උනාම හෝස් ගානවා. ඊටත් දරන්නම අමාරු දේ අපිට ඒ අයට උදව් කරන්න බැරි එක. ඒ අය දුක කියන දේ තෝර ගත්තේ නැති උනත් ඒ ඒගොල්ලන්ගේ ජීවන රටාවේ හැටියට, දුක, බය කියන දේ ඒ අයට සාමාන්‍ය දෙයක් කියල හිතල තමයි හිත හදා ගන්නේ...





මෙහෙදී අපිට ඇෆ්ඝන් මිනිස්සු, පොලිස්සියේ අය, ANSF (Afghan National Security Forces) එකේ අය දහස් ගානක් හම්බ වෙනවා, කතා කරනවා, උදව් කරනවා. ඒත් ඒ අය අතරින් මගේ හිතට වැදිච්ච, ලං වුන අය ඉන්නෙ අතේ ඇඟිලි ගානට විතරයි. ඒ අය අතරෙන් එක්කෙනෙක් තමයි යෝනු කියන කැබ් ඩ්‍රයිවර්. මේ ලිපියේ ලිපියේ ලිව්වේ එයා ගැන. නමක් නැති සුපිරි වීරයෙක්..



ඉතිං යෝනු වගේ මට මෙහෙ ගත කරපු කාලය තුල අමතක නොවන චරිත කීපයක් ගැන ලියන්න හිතුනා. එයින් එක්කෙනෙක් තමයි අක්මල් (Akmal). අවුරුදු 15ක විතර කොල්ලෙක්. අක්මල්වත් මට හම්බ උනේ මර්ජාහ් වලදී. අපේ මෙඩිකල් කෑම්ප් එකට එයාගේ මල්ලිව අරන් ආපු වෙලාවක. අපිට වගේ චූටි හෙම්බිරිස්සාවටත් "ඩොට්ට අංකල්ලා" ගාවට යන්න විදියක් නෑ ඒ මිනිස්සුන්ට. මැරෙන්න ඔන්න මෙන්න ඉන්නවා නං විතරක් ඒ මිනිස්සු තමන්ගේ අම්මව තාත්තව නැත්තං දරුවව බූරුවෙක්ගේ පිටේ බැඳගෙන හැතැක්ම ගානක් ඈත තියෙන ඉස්පිරිතාලෙකට අරං යනවා. නැත්තං අපිම ඇවිල්ලා හොයල බලලා බේත් දෙනකන් ඉන්නවා. අක්මල්ගේ මල්ලිට asthma නොහොත් ඇදුම රෝගය. ඉතිං ඒ පොඩි එකා පලවෙනි පාරට අපි දීපු ඉන්හේලර් (inhaler) එකක් පාවිච්චි කරන හැටි මම බලාගෙන හිටියා. ඒ දිහා බලං හිටියම මට තනියෙම හිනාවක් ගියා. ඒ වෙලාවේ තමයි අක්මල් මාත් එක්ක හිනා උනේ. ඒ පැත්තේ මිනිස්සු ඉන්හෙලර්ස් වගේ දේවල් දැකල වත් නෑ. මැජික් වගේ. සමහර මිනිස්සු මුළු ජීවිත කාලෙටම පන ඇද ඇද ඉඳලා එදා ඒ හරියට නිදහසේ හුස්මක් ගත්තමයි වෙන්න ඇති. ඒක නං පට්ටම අත්දැකීමක්...





ඉතිං කොහොම හරි මර්ජාහ් වල FOB (forward operating base) එකේ ඉන්නකොට මට ආයෙත් අක්මල්ව හම්බ උනා. ඉතිං පරණ ෆිට් එකට දන්න වචන දාලා කතා කලත් අනෙත් ළමයි වගේම මිසක් විශේෂ වෙනසක් තේරුනේ නෑ. පස්සේ පස්සේ ඔය විදියට ෆිට් වෙලා අපි patrol ඩියුටි යනකොට අක්මලුයි එයාගේ මල්ලියි, යාළුවොයි අපිත් එක්ක ඇවිදින්නත් පුරුදු උනා. අනිත් ළමයි නං අපි වටේ දුව දුව සෙල්ලං කලාට අක්මල් විතරක් මං ලගින් හෙලවුනේ නෑ. ප්‍රශ්න අහ අහ එයාගේ භාෂාවෙන් කතා කර කර යනවා. මටත් තේරුනේ නැති උනත් මමත් අහං ඉන්නවා. පුළුවන් විදියට උත්තර දෙනවා. ඉතිං ඔහොම යද්දී මමත් කැමරා එකේ ෆොටෝ පෙන්නනවා, Ipod එකේ සින්දු දාලා අහන්න දෙනවා, චොක්ලට් වගේ දේවල් දෙනවා. ඔන්න ඔහොමයි අපි යාලු උනේ..




දවසක් අපිට කෝල් එකක් ආවා කලින් ගිය patrol ටීම් එකට තලෙයිබාන් කේස් එකක් කියලා. අපිත් FOB බේස් එකේ ඉඳන් වාහන වලින් ගියා. අපි යනකොට වැස්ස හොඳටම. බිම කළු පාටට මඩ. ඒ අස්සේ මෝටාර් වැටෙනවා කොහෙන් එනවද කියල හිතා ගන්න බෑ. කොහොම හරි අපි අමාරුවෙන් අපේ එවුන් කවර් වෙලා ඉන්න තැනට ගියා. පස්සේ උන් කියපු විදියට උන් එක්ක වෙනදා වගේ ළමයි ආවලු. තලෙයිබාන් ගහනකොට ළමයි ටික දුවලා. ඒත් ළමයි දෙන්නෙක් විතරක් එහා පැත්තේ ඉතුරු වෙලා ඉන්නවා කියලා. මායි තව එකෙකුයි එපා කියද්දී එතන සීන් එකක් දාගෙන තව තුන් දෙනෙක් කැමති කරගෙන ආයෙත් ඉස්සරහට ගියා ළමයි දෙන්නව අරං එන්න. ඒ වගේ රිස්ක් එකක් ගන්න එක අපේ නීතියෙන් පිටයි. කොහොම හරි අපි ගිහිලා බලද්දී ලී ගොඩකට මුවා වෙලා ඉන්නවා අක්මලුයි එයාගේ මල්ලියි. මගේ හිතේ චුට්ටක් වත් තිබුනේ නෑ ඒ අක්මල් වෙන්න ඇති කියලා...

ඒ දැකපු දේ නං කවදාවත් අමතක වෙන්නේ නෑ. එච්චර සහෝදර ප්‍රේමයක් මම දැක්කමයි. පොඩි එකා බිම වැටිලා හුස්ම ගන්න බැරුව පන අදිනවා. අක්මල් පොඩි එකාගේ ඔලුව ගාව දනගහගෙන වැස්සට තෙමෙන්න නොදී තියාගෙන ඉන්නවා. පොඩි එකාට මෝටාර් එකකද කොහෙද shrapnel වැදිලා කකුල පුරා ලේ. ඒ අස්සේ කන්ද උඩ ඉඳන් තලෙයිබාන් එකෙන් හෝ ගාලා වෙඩි තියනවා අක්මල්ට ගානක්වත් නෑ. මම ඔක්කොම නවත්තලා බලාගෙන හිටියේ ළමයි දෙන්නා දිහා. අක්මල් දනගහගෙන ඉදිද්දිම අතට වැහි වතුර එකතු කර කර මල්ලිට පොවන හැටි. අඩන පොඩි එකාව නලවන හැටි. ඇත්තටම මම එතන දැක්කේ මගේ මල්ලිව...





ඔක්කොම දේවල් ඉවර උනාට පස්සේ අපි පොඩි උන් දෙන්නව අරං ඇවිත් හොස්පිටල් එකට දුන්නා. එයින් පස්සේ මම අක්මල්ව දැක්කේ වෙනස් විදියකට. යාලුකමකට වඩා මගේ හිතේ අක්මල් ගැන තිබ්බේ ගෞරවයක්. දෙන්නා ගෙදර යනකම්ම අක්මල් මල්ලි ලඟින් හෙලවුනේ නෑ. මම එච්චර කාලෙකට නියම සහෝදරකම දැක්කේ අක්මල්ගෙන්...

කොහොම කොහොම හරි අපිට එහෙ තිබ්බ වැඩ ඉවර වෙලා අපි ආයේ එන දවසත් ආවා. ඉතිං හැමදාම වගේ එහෙ අපිට උදව් කරපු අයට සමු දෙන එක තමයි අමාරුම වැඩේ උනේ. විශේෂයෙන්ම අක්මල්ට. මගේ ගානේ පෑන් ටිකකුයි, සෙරෙප්පු දෙකකුයි, අපිව මතක් වෙන්න කියලා අපි එකට ගත්ත පින්තූරෙකුයි, hug එකකුයි දීලා ආවා. එයාව මතක් වෙන්න මට මොකුත් හම්බ උනේ නැතත් මට අක්මල්ව හැමදාම මතක තියෙයි. ඒ සහෝදරයෙක්ට දෙන ගෞරවයත් එක්කම....




කෙටියෙන් ලියන්න කියල හිතාගෙන හිටියට ටිකක් දිග උනා. අද නං ඒ අයියයි මල්ලියි කොහෙ ඉන්නවද, මොනා කරනවද කියල නං දන්නේ නෑ. ඒත් ඉන්න තැනක සතුටෙන්, සමගියෙන්, බැඳීමෙන් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. මට කියල ඒ දෙන්නා වෙනුවෙන් කරන්න පුළුවන් එච්චරයි...

1 comment: